අධික උණුසුම මාරාන්තික විය හැකියි – ලුණු- සීනි නැති ජලය හොඳම පිළියමයි


මේ දිනවල පවතින අධික උෂ්ණත්වයෙන් ඇති විය හැකි අතුරු-ආබාධවලින් වැළකී සිටීමට නම් පිපාසාවක් නොදැනුණද සිතාමතාම වැඩිපුර ජලය පානය කරන්නැයි ශ්‍රී ජයවර්ධනපුර මහරෝහ‍ලේ කායිකරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කේ.වී.සී. ජානක මහතා පවසයි.

සාමාන්‍යයෙන් වැඩිහිටියකු දිනකට වතුර ලීටර් 2.5 -3 දක්වා ගැනීම වඩාත් සුදුසුය. හිරු එළියට නිරාවරණය වෙමින් වැඩ කරන්නන් හා ක්‍රීඩකයන් මෙයට වැඩි ප්‍රමාණයක් වතුර පානය කළ යුතු බවද ඔහු කියා සිටියි.
හිරු රැස් වඩාත් තදින් පායන කාලයක් ඉදිරියේදී එළඹෙන හෙයින් හැකි තාක් දුරට හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින ලෙසද හෙතෙම උපදෙස් දෙයි. දැඩි උෂ්ණත්වයක් පවතින දිනවල මැරතන් තරග හා වෙනත් ක්‍රීඩාවලට සහභාගි වීමෙන් වැළකීමද සුදුසුය. එසේ සහභාගි වන්නන් වැඩිපුර වතුර බීම අත්‍යවශ්‍ය‍ වේ. ශරීරයේ උෂ්ණත්වය දැඩි ලෙස ඉහළ යෑමෙන් එය දරාගත නොහැකිව උණුසුම් ආබාධ (Heat strokes) ඇති විය හැකිය.
අධික ලෙස සිරුරේ උෂ්ණත්වය ඉහළ යෑමෙන් මොළයට හා හෘදයවස්තුවට හානි සිදු වීමෙන් ඇතැම්විට මරණය පවා සිදු විය හැකිය. දහදිය බිබිළි වැනි සමේ රෝගද ඇති විය හැකිය.
කුඩා දරුවන්ගේ ශරීරයෙහි වැඩිහිටියන්ට වඩා ජල ප්‍රතිශතයක් පවතී. එසේම උෂ්ණත්වය අධික වීමෙන් දරුවන් විජලනයට පත් විය හැකිය. මෙහෙයින් ළමයින්ට වැඩිපුර වතුර හා දියර වර්ග ලබා දිය යුතුය. එහිදී ලුණු සහ සීනි මිශ්‍ර නොකරන ලද ඕනෑම පානයක් සුදුසුය. වතුර හොඳම පානයයි. වතුර වෙනුවට පැණි රස කළ කෘත්‍රිම පාන වර්ග දීම නොකළ යුතුය. තැඹිලි, දෙහි, දොඩම්, වැනි ස්වාභාවික පාන වර්ගද බාර්ලි හා සව් වැනි පාන වර්ගද වැඩිපුර බීම සුදුසුය.
දිනකට දෙවරක් වත් කුඩා ළමයින් විනාඩි තිහක් පමණ වත් වතුරේ රඳවා, ඇඟ සිසිල් වන සේ සේදීම සුදුසුය. විශේෂ අසනීපයක් නැති නම් දිනකට දෙවරක් පමණ ස්නානය කළද වරදක් නැත.
Share on Google Plus

About sri

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment