සැබෑ බෞද්ධයෙකු වන්නේ කෙසේ ද?


උපතින් කෙනෙක් බෞද්ධයකු නොවේය යන්න බොහෝ විට අපට අසන්නට ලැබෙන ප්‍රකාශයකි. එසේ නම් බෞද්ධයකු වන්නේ කෙසේද යන්නට ද පිළිතුරක් අවශ්‍ය වෙයි. ආගම යන්නට දෙනු ලබන පුළුල් අර්ථකථනයන් කෙබඳු වුවත්, ඒ යටතට ගැනෙන සෑම කෙනකුටම උපතේදී ම ආගමක් ලැබෙයි. එය මවුපිය උරුමයකි.

කිසිදු පියෙක් හෝ මවක් හෝ තමන්ට දාව උපන් දරුවකු වෙනත් ආගමකට නොපවරයි.එහෙත් උපතින් පසු වයසින් වැඩීයත්ම දැනුම් තේරුම් ඇති කාලයේ දී, බහුලව නොවූවත්, සමහරු ස්වකීය ජන්ම ආගම අතහැර වෙනත් ආගමක් වැළඳ ගනිති.
බොහෝ විට මේ අය පෞද්ගලික වාසි ප්‍රතිලාභ තකා එසේ කරති. උපතින් වෙනත් ආගමක් ලැබ පසුව එය අතහැර බෞද්ධ ආගම වැළඳ ගන්නා අය නම් එසේ කරන්නේ යම් අවබෝධයක් මත ගොඩ නැගුනු විශ්වාසයක් හා පිළිගැනීමක් නිසා බව පෙනේ. මක් නිසාද යත් ප්‍රතිලාභ ප්‍රදානයන්, බලපෑම්, රැවටීම්, මුළා කිරිම් ආදී උපක්‍රම බුදු දහම තුළ නිර්දේශිත නොවන බැවිනි.
බුදු දහමෙහි මුල් තැන ලැබෙන්නේ සම්ප්‍රදායට නොව අවබෝධයට ය. ඒ අවබෝධය කෙබඳු එකක්දැ යි නිවැරැදිව හා නිශ්චිතව නිර්වචනය කර අර්ථ දක්වා ඇති එකකි. එනිසා බෞද්ධයා යන්නටද නිරවුල් අර්ථකථනයක් ඇත.
බුදුරදුන් ජීවමාන කාලයේ සිටි බුද්ධ ශ්‍රාවකයා, සම්බුද්ධ පරිනිර්වානයෙන් පසු බෞද්ධයා ලෙස නම් කෙරුනේ වෙනත් ආගම් දරන්නන්ගෙන් වෙන් කර දැක්වීමට යැයි අනුමාන කළ හැකිය. බුද්ධාගම්කාරයා බිහි වූයේ එලෙසිනි. ඒ අනුව ඒ කුලකයට අයත් සෑම කෙනකුගේ ම ආගම බුද්ධාගම විය.
උපතේදී කිසිවෙකුට ආගමක් දහමක් පිළිබඳව කිසිදු සංඥාවක් නැත. “බෞද්ධ” යන්නෙහි අරුත එතැනට දමා, මවු කුසින් බිහිවන දරුවා ඒ අනුසාරයෙන් මැන බැලීමද අඥාන ක්‍රියාවකි. නමුත් ක්‍රමයෙන් වැඩී ගොස් දැනුමෙන් සංඥාවෙන් පෝෂණය වත්ම ඔහු දරා සිටින්නේ තමා උපතින් ලත් බෞද්ධකම මද යන්න විමසා බැලිය යුත්තකි.
උත්පත්තියේ දී සම්මුතියෙන් පැවරෙන බෞද්ධකමත්, පසු කාලයේදී බුද්ධ ශාසනය තුළ දහමට අනුව ලබන බෞද්ධකමත් අතර පැහැදිලි වෙනසක් පවතී. මේ වෙනස හඳුනා ගත් පසු තමා බෞද්ධයකුදැයි තමාට ම හඳුනා ගැනීමේ හැකියාව ලැබෙයි. තවත් අයුරකින් කිවහොත් තමාගේ ආගම කුමක්දැයි කෙනෙක් ඇසුවහොත් තමන් බෞදධයෙක් යැයි පිරිසුදුව කිව හැකියාව ලැබෙයි.
බෞද්ධකම යනු හුදු ඇදහීමෙන්,අනුකරණයෙන් හා සම්ප්‍රදායෙන් තොරව උදාකරගත යුතු සාන්දෘෂ්ඨික ඵල ප්‍රාප්තියකි. ඒ සඳහා මූලික කාරණා හතරක් පිළිබඳව අවබෝධයෙන් ම ඇතිවන ප්‍රමාණවත් විශ්වාසය හා එකඟ බව මත පදනම් වූ අනුභූතීය පිළිගැනීමක් අවශ්‍ය වෙයි.
ඉන් පළමුවැන්න වන්නේ බුද්ධ ශාස්තෘත්වය පිළිබඳ අවබෝධාත්මක පිළිගැනීමයි. අනෙකුත් සියලුම කාරණා රඳා පවතින්නේ මෙය මතය. මේ සඳහා උපනිඞශ්‍රය වන මනෝමූලික ස්වභාවය වන්නේ ශ්‍රද්ධාව නම් වූ ඉන්ද්‍රිය ධර්මයයි. තෙරුවන් සරණ යාම එම ශ්‍රද්ධාවේ ප්‍රතිඵලයයි. සරණාගමන පාඨ වාචිකව කීමෙන් පමණක් මෙය සම්පූර්ණ නොවේ.අනුකරණයෙන් තොර වූ සරණාගමනයේ සාන්දෘෂ්ඨික ඵලය තෙරුවන් සරණ ගිය තැනැත්තාගේ ආධ්‍යාත්මයට නිරතුරුව දැනේ.
ආර්ය මාර්ගයට ප්‍රවේශ විය හැක්කේ , විවේකයට නැඹුරු වූ (විවේක නිස්සිතං ), විරාගයට යොමු වූ (විරාග නිස්සිතං) නිරෝධයට නැඹුරු වූ (නිරෝධ නිස්සිතං) නිවනට පමුණුවන්නා වූ (වොස්සග්ග පරිණාමිං) ශ්‍රද්ධා ඉන්ද්‍රිය වඩාගත් විට බව සද්ධින්ද්‍රිය සූත්‍රය (සං.නි.)ඇසුරෙන් තේරුම් ගත හැකිය. ශාසනයට තදානුබද්ධ වූ, විශේෂයෙන් ඇසට ගෝචර වන පරිබාහිර වූ දාගැබ් පෙති පිළිම ආදිය දැකීමෙන් අප තුළ ඇති වන ශ්‍රද්ධාව ඉක්මවා ගිය ආධ්‍යාත්මික සංස්කරණයක් නොහොත් ශක්තියක් ලෙස මෙකී ඉන්ද්‍රිය නාමයෙන් හැඳින්වෙන ශ්‍රද්ධාව විස්තර කෙරේ.එය බෝධි පාක්‍ෂික ධර්මයකි.
ධර්මශ්‍රවණය සීල සමාදානය, ධර්මය ඉගෙනීම හා විමසීම , සුචරිතවත් පුද්ගල ආශ්‍රය තණ්හා මාන දිට්ඨි වලින් තොර දානාදී පින්කම් වැනි අර්ථ චර්යාවන්හි යෙදෙන්නේ මේ ශ්‍රද්ධාවේ විභව ශක්තිය නිසාය. මල් පහන් පුජා ආදිය පමණක් කරමින් ආමිසයෙහි රැඳී එක තැන සිටින්නා තුළ මේ ගති ලක්‍ෂණ ප්‍රකට නොවේ. සැබෑ බෞද්ධයා යනු එපමණක්ම “බෞද්ධකම” යයි පිළිගන්නෙක් නොවේ. තවද තෙරුවනට ගරු කිරීම බෞද්ධයා කෙරෙහි ප්‍රකටව දෘශ්‍යමාන වේ. ඊට නිගරුවන කිසිම ක්‍රියාවක ඔහු නොයෙදෙයි.
බෞද්ධයා තුළ පිහිටන දෙවැනි ලක්‍ෂණය වන්නේ කර්ම ඵල විශ්වාසයයි.සෑම ක්‍රියාවකටම ඊට සමාන වූද ප්‍රතිවිරුද්ධ වූ ද ප්‍රතික්‍රියාවක් ඇත යන පිළිගැනීම විද්‍යාත්මක න්‍යායකි. බුදු දහමේ දැක්වෙන කර්ම ඵල න්‍යාය එවැනි සරල සිද්ධාන්තයක් නොවන බව සැබෑ බෞද්ධයා දනියි.
සචේතනික ක්‍රියාවල විපාක ස්වභාවය ඔහු ධර්මය මගින් ප්‍රමාණාත්මකව වටහා ගෙන ඇත. ඒ වැටහීම මගින් බුදුරජාණන් වහන්සේ පෙන්වූ කර්ම ස්වභාවය හඳුනාගෙන, දුගතිගාමී උපතක් කරා යන විපාක පිණිස සකස් කෙරෙන දුශ්චරිත ක්‍රියාවන්ගෙන් වෙන්ව වාසය කිරීමට ඔහු වීර්ය වඩන නිසා වීර්යය නම් වූ ඉන්ද්‍රිය බල ධර්මය වැඩෙයි. පුණ්‍ය පාප, කුසලාකුසල කර්ම ඵල පිළිබඳව හේතු ඵල වශයෙන් විභාග කර බැලීමට පෙළඹුණු අයකු වූ සැබෑ බෞද්ධයා ඒ සඳහා බුදු දහම ඉගෙනීමට හා විමසීමට යොමුවෙයි. සීලය ඔහුට ආරක්‍ෂිත වැටකි. වරද ඉදිරියේ සතියෙන් සිටින නිසා ඔහු තුළ සතීන්ද්‍රිය ධර්මය වැඩෙයි. කර්මානුරූපව ලැබී ඇති උතුම් මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම හඳුනාගත් ඔහු ශීල ශික්‍ෂා ආර්ය මාර්ගය තුළ තම ජීවිතය හසුරුවා ධාර්මික දිවි පෙවෙතක් ගත කරයි.
තුන්වැනි බෞද්ධ ලක්‍ෂණය වන්නේ පුනර්භව සංකල්පය පිළිගැනීමයි. තත් භවය යනු අනවරාග්‍ර සංසාර චාරිකාවේ එක් අවස්ථාවක් පමණක් බව වටහාගෙන තමන් ජරා මරණ ව්‍යාධි යන ත්‍රිවිධ දුක් දායාද කර ගත් අයෙක් ය යන සංඥාව බෞද්ධයා තුළ සැකයෙන් තොරව පවතී. මේ නිසා සසර ගමන් කෙළවර කිරීමේ ඒකායන ආර්ය පිළිවෙත ඔහු පිළිගනියි. මිනිසා යනු උපන්දා සිට මිය යන තුරු ජීවත් වීම සඳහා කළමණා දේ කරන අයෙක් පමණක්ය යනුවෙන් ගෙන භව බන්ධනයට වසඟව සිටින තැනැත්තා බුදු දහමේ සඳහන් බෞද්ධයකු නොවේ.
තවද හේ ශාසනයෙන් පරිබාහිර පෘථග්ජනයෙකි. සත්ත්වයා අදෘශ්‍යමාන දෙවියකුගේ මැවීමක්ය යන දෘෂ්ටියෙහි බෞද්ධයා නොපිහිටයි.නිරය, පේ‍්‍රත, අසුර, සුර, බ්‍රහ්ම යන උත්පත්ති භූමි මනඞකල්පිතයන් ලෙස ඔහු පිළි නොගනී. පුනර්භව සංකල්පය පිළිබඳව ධර්ම සංඥාව නොවැඩුනු පුද්ගලයාට ත්‍රිලක්‍ෂණය පිළිබඳ අවබෝධය නොපිහිටයි.
බෞද්ධකමේ සිව්වැනි ලක්‍ෂණය වන්නේ නැවත උපතක් කරා නොඑළඹෙන ස්වභාවය හෙවත් නිර්වානය පිළිබඳ පිළිගැනීම තිබීමයි. ඒ පිළිගැනීම නොමැති තාක් කල් එම පරම ප්‍රාප්තිය ක්‍ෂාත්සාත් කර ගැනීමට ප්‍රගුණ කළ යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ඇත යන කාරණයද හුදු ප්‍රවෘත්තියක් පමණක් වෙයි. සැබෑ බෞද්ධයා , සසර ගමන කෙළවර කිරීමෙන් නිවන ලබන්නේයයි වටහා නොගන්නා අතර, නිවන ක්‍ෂාත්සාත් කිරීමෙන්ම සසර ගමන කෙළවර කෙරෙන බව අවබෝධ කරගත් අයෙකි.
අනෙක් අතට හුදු පුද පූජා ප්‍රාර්ථනා වලින් පමණක් එම පරම තත්ත්වය උපදවා ගත නොහැකි බවද, නිවන යනු ඉන්ද්‍රිය වේදයිත සුඛය සදාතනිකව ලැබිය හැකි, කිසිදු දුකක් නැති තවත් භවයක් නොවන බවද වටහා ගත්තෙකි. ඒ නිසා හේ සමාධි, පඤ්ඤා යන ඉන්ද්‍රිය ධර්මයන් වඩා ගැනීමේ කළමනා කටයුතුවල හැකි පමණින් අප්‍රමාද වෙයි. ඒ සඳහා අවශ්‍ය සද්ධර්ම ශ්‍රවණයට කල්‍යාණ මිත්‍ර සේවනයට අවශ්‍ය මාර්ග විවෘත කර ගනී.
මේ අනුව බෞද්ධකම පිළිබඳව ස්වයං තක්සේරුවක් හො ඇගැයීමක් කර ගැනීමට බුද්ධිය මෙහෙයවීම සඳහා හැකියාවක් “බෞද්ධ” නමින් හැඳින්වෙන කාට වුවත් හැකිවෙයි. කරුණු වශයෙන් ගත් කල ඉහතින් සඳහන් කරන ලද ගුණාංග ඇති කර ගැනීම කාට නම් කළ හැකිද යන දුර්මතයක් සමහර කෙනකුට ඇතිවිය හැකිය. එසේ දැනෙන්නේ පෘථග්ජන ස්වභාවයේ රැඳී සිටීමට ඇති බලවත් ඡන්දය හෙවත් ඡන්ද රාගය නිසාමය. බෞද්ධයකු වීමට සත්‍ය වශයෙන්ම ප්‍රමාණවත් නුවණක් අවශ්‍යමය. වචනය තුළම ඒ බව ගැබ්ව ඇත. තවත් අයුරකින් කිවහොත් ලෞකික සම්‍යග් දෘෂ්ටියක් තිබිය යුතුය. කෙනකු තුළ මේ කුසලතාව, අනුසය වශයෙන් යටපත්ව තිබිය හැකිය.
නමුත් කල්‍යාණමිත්‍ර සේවනයක් ලත් විට මතු වී එයි. උත්පත්තියේදී අන්‍ය ආගමක් ගෙන, එහෙත් පසු කාලයේදී බුදු දහම වැළඳ ගැනීම එහි ප්‍රතිඵලයකි. ඒ අය තුළ බෞද්ධකමේ මූලිකාංග වර්ධනය කර ගැනීමට අත්‍යවශ්‍ය හා ප්‍රමාණවත් අවබෝධය ලබා ගැනීමේ හැකියාව ප්‍රකට වෙයි. ඔවුහු සැබෑ බෞද්ධයින් වීමට උත්සාහ කරති. එහෙත් උපතින් බෞද්ධනාමය රැගත් වැඩි දෙනකුට එසේ අමුතු උත්සාහයක් අවශ්‍ය නැති නිසා, තමන් නොදැනුවත්වම අබෞද්ධව වාසය කරති.
බෞද්ධකම ආධ්‍යාත්මික ඵල ප්‍රාප්තියක් මිස, සම්මුති නාමයක් නොවන බව විශේෂයෙන් සඳහන් කළ යුතුවේ. සැබෑ බෞද්ධයා දුප්පත් පොහොසත් ජාති ,කුල ආදී සම්මුති මිනුම් වලින් නිරපේක්‍ෂය. පොහෝ දිනයකදී ආකර්ෂණීය ඇඳුමකින් සැරසී සිද්ධස්ථානයකට ගොස් මල් පහන් පූජා කළ පමණින් හෝ විහාරස්ථදායක සංගමයක සාමාජිකයෙකු වූ පමණින් හෝ මිය ගිය අය සඳහා පාංශුකූලයක් දී සම්මත දාන තුන දුන් පමණින් හෝ බෞද්ධයකු නොවේ. බෞද්ධයකු වීම සඳහා ඒ කටයුතු නොකටයුතුයැයි වරදවා ගත යුතුද නොවේ.
එවන් කටයුතු කිරීමට උත්පත්තියෙන් ලත් බෞද්ධ කමේ වාසනා ගුණය අකාලයේ ගෙවීයාමට ඉඩ නොසලසා , සැබෑ බෞද්ධයකු ලෙස මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි ශ්‍රාවකයකු වීමට අප උත්සාහ කටයුතු වෙයි. තවද, කරුණු වශයෙන් ඉහත කාරණා ගැන අධ්‍යාපනික දැනුමක් තිබූ පමණින්ද බෞද්ධයකු නොවන බව අප වටහා ගත යුතුයයි සිතමි.
Share on Google Plus

About sri

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment